Wednesday, July 8, 2015

බෝයිස්ලා අඩන්නෙ නැද්ද

බෝයිස් ඩෝන්ට් ක‍්‍රයි චිත‍්‍රපටය හා තනි තටුවෙන් පියාඹන්න චිත‍්‍රපටය තුළ නිරූපණය වන ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ සන්සන්දනාත්මක කියැවීමක්.

මෙම චිත‍්‍රපට දෙක ගත් විට මූලිකව මේ දෙකෙහිම කතා තේමාව තුළ දිවෙන ප‍්‍රධාන චරිත දෙක උපතින්ම තමා ලද ස්ත‍්‍රීත්වය වසන් කරමින් පුරුෂාධිපත්‍ය සමාජය තුළ එය තවදුරටත් ස්ථාපිත කරන බවක් පෙනේ. බෝයිස් ඩෝන්ට් ක‍්‍රයි හි බ‍්‍රැන්ඩන් ටීනා සහ තනි තටුවෙහි එන චරිතය යන මේ දෙකම තුළින් ම සාකච්ජාවට ලක්වන්නේ ජීව විද්‍යාත්මක ස්ත‍්‍රී-පුරුෂ බෙදීම අභිබවා ගිය සමාජීය පදනමින් යුත් ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය යි. 

චිත‍්‍රපටයේ නම ගැටවරයෝ නොහඩති යන්න වේ. එතුළ ම පිරිමින් නොහඩන බව ට තර්කයක් ගොඩනගයි. බ‍්‍රැන්ඩන් පුරුෂත්වයක් අරෝපණය කර ගෙන සිටියත් අවස්ථා කිහිපයකදී ඔහු අඩන අවස්ථාව සිනමා නිර්මාණය තුළ මනාව උලූප්පා පෙන්වමින් ඇය කාන්තාවක් බව තව තවත් තහවුරු කරනු ලබයි. අවසානයේ දී ලීසාගේ නිවසේ ඇය සැගවී සිටිද්දී ලානා සමග ඇය වැළපෙන අවස්ථාව ඒ සඳහා නිදසුනකි. 


කදුලූ සැලීම කාන්තාවන්ගේ කටයුත්තකි. පිරිමින් කිසි විටෙකත් කදුලූ නොසලයි යන්න පුරුෂ මූලික සමාජය තුළ ගොජනගා ගත්තකි. එම තර්කය මෙම සිනමා නිර්මාණය තුළ ද එලෙස පේ‍්‍රක්ෂකයා හමුවට ගෙන එයි. 

බ‍්‍රැන්ඩන් තමා නිරතුරුවම පුරුෂත්වයක් ආරෝපණය කර ගනිමින් තමා ලිංගික විපර්යාසයකට ලක් වනවාය යන හැගීම සහිතව කටයුතු කරයි. පේ‍්‍රක්ෂකයාට බ‍්‍රැන්ඩන් කාන්තා චරිතයක් බව මුලදීම ඒත්තු ගැන්වීමට ඇගේ  සියුමැලි ඉතා ප‍්‍රියමනාප බව යොදා ගනී. එහිදී ඇය ස්ත‍්‍රී-පුරුෂ භේදයකින් තොරව දෙපාර්ශවයේ ම ආකර්ෂණයට ලක් වීමෙන් පැහැදිලි වේ. නමුත් තනි තටුවෙන් පියාඹන්න චිත‍්‍රපටය ගත් විට එහිදී ප‍්‍රධාන චරිතය පුරුෂ කෝණයකින් ගෙන හරී. එතුළ පුරුෂත්වය ඉස්මතු කරද්දී අනෙක් චිත‍්‍රපටයේ ස්ත‍්‍රීත්වය ඉස්මතු කරන ආකාරයක් දැකිය හැකි ය. 

කෙසේ වුවද කාන්තාව ට පුරුෂත්වයක් ආරෝපණය කර ගැනීම ප‍්‍රායෝගිකව කළ නොහැක්කක් බව බ‍්‍රැන්ඩන් ට හා තනි තටුවේ ප‍්‍රධාන චරිතය යන දෙදෙනාම මාසික ඔසප් වීමට ලක් වීම සාධකයක් කොට ඉදිරිපත් කිරීම නිර්මාණ දෙක තුළ ම පැහැදිලිව දැකීමට පුලූවන. 

ලීසා ලැම්බර්ට් නැමති තරුණියක් මාර්ගයෙන් බ‍්‍රැන්ඩන් තමාගේ අභිමත ජීවිතයට අවැසි සමාජ වටපිටාවක් නිර්මාණය කර ගනී. එහිදී සෑම විටම ඇය තමා අරෝපණය කර ගත් පුරුෂත්වය පුන පුනා සමාජය ඉදිරියේ ස්ථාපිත කිරීමට වෙර දරන්නීය. මෙතුළ ගැඹුරින් නිරූපණය වන්නක් තිෙබි. එනම් ඇයගේ එම ස්ථාපිත කිරිම ඔස්සේ කියැවෙන්නේ සමස්ත පුරුෂ කේන්ද්‍රීය සමාජයෙහි ආධිපත්‍ය වන බව මගේ හැගීමයි. ඇය තමාගේ නව සමාගමය තුළ පුරුෂයෙකු ලෙස ඉහළ මානසික තෘප්තියක් ලබයි. සමස්ත චිත‍්‍රපටය පුරාම ඇය යම් ආකාරයක තම ලිංගික අනන්‍යතාව පිළිබඳ මානසික අර්බුදයකට ලක්ව සිටින බවක් පෙනෙන්නට තිබේ. නමුත් ඊට සාපේක්ෂව තනි තටුවෙන් පියාඹන්න චිත‍්‍රපටය තුළ එසේ පුරුෂත්වය පසුපස හඹා යාමක් වෙනුවට ඇය නියාමාකාර ලෙස පුරුෂත්වය අනුකරණය කිරීමක් දැක ගත හැකිය. 

පුරුෂ මූලික සමාජයක් තහවුරු කරන ස්ත‍්‍රී නිමිත්තකින් සිනමා නිර්මාණය ආරම්භ වේ. තනි තටුවෙන් චිත‍්‍රපටය තුළ ඇය තමා ලද ස්ත‍්‍රීත්වය වසන් කරමින් සමස්ත පුරුෂත්වය ආරෝපණය කොටගෙන ක‍්‍රියාත්මක වේ. 



විශේෂයෙන් ඇය තම ලිංගික ජිවිතය පවා ගත කරනුයේ එය මනාව පසක් කරමිනි. විවාහක අඹු-සැම් යුවළක් ලෙස තවත් කාන්තාවක සමග පවුල් ජිවිතය ගත කරයි. එහිදී ඇය පැහැදිලි ලෙසම පුරුෂයාගේ කාර්යභාරය තම ස්ත‍්‍රීත්වය අභිබවා ගෙන ඒමට තරම් සමත් වෙයි. නිදසුනක් ලෙස 

”මේ පැත්ත තනියම ගෑනුන්ට එළියට වෙලා ඉන්න හොඳ පැත්තක් නෙවේ. මම නැතුව ගෙදරින් එළියට අඩියක් තිබ්බොත් මං බලාගන්නම්”

යැයි තම බිරිඳට වරෙක බැන වැදීමෙන් එය පැහැදිලි වේ. ඇය ඊට යටත් වීමෙන් පුරුෂයාට බිරිඳ යටත්ව ජීවත් විය යුතු බව පේ‍්‍රක්ෂකයාට තහවුරු කරයි. ඇගේ බිරිඳගේ චරිතය සෑම විටම සාම්ප‍්‍රදායික කාන්තා චරිතයක් ලෙස ගොඩනගා තිබේ. ඇයට පැවරී ඇත්තේ සාම්ප‍්‍රදායික ගෘහණියකගේ රාජකාරි පමණකි. 




තම සැමියාට යටහත් පහත්ව ඇය ජීවත් වේ. මෙහිදී අවස්ථා දෙකකදීම ඇයට පිළිවෙළකට ගේ දොර පිළියෙල නොකිරීම පිළිබඳ ප‍්‍රධාන චරිතය එසේත් නැතිනම් සැමියා විසින් බැන වදිමින් ඒවා පිළියෙල කරන ආකාරයක් ද මෙහි නිරූපිතය. එතුළ කාන්තාවකගේ කාර්යභාරය නම් ගෘහ කටයුතු කරමින් සැමියාගේ කටයුතු කරමින් ඔහුට අවනතව සිටීමය යන්න බිරිඳගේ චරිතය තුළින් නිරූපණය වේ. 

තමාගේ ස්ත‍්‍රීත්වය වෛද්‍යවරයා දැන ගැනීමෙන් ඔහුගේ ලිංගික ගොදුරක් බවට ඇයව පත් කර ගැනීමට උත්සාහ කරයි. ඉන් සමාජය තුළ සදාකාලිකව කාන්තාව පුරුෂයාගේ ලිංගික ගොදුර බව නිරූපණයට හදගම උත්සාහ දරා ඇති බවක් පෙනේ. 

ඊට සාපේක්ෂව බ‍්‍රැන්ඩන්ගේ චරිතය දිග හැරෙන්නේ වෙනස් ආකාරයකටයි. ඇය ලානා හා පෙම් සබඳතාවක් ආරම්භ කිරීමත් සමග තම මිතුරන් දෙදෙනාගේ ද දෝෂ දර්ශනයට ලක් වන්නේ ලානා පිළිබඳව ලොටර්ගේ ඇති ආදරය නිසාවෙනි. එනිසාම බ‍්‍රැන්ඩන්ව අපහසුතාවයට පත් කිරීමට ඔහු සෑම විටම උත්සාහ කරයි. ලානාට බ‍්‍රැන්ඩන් කාන්තාවක් බව දැනගන්නට ලැබෙන්නේ දෙදෙනාගේ පළමු සිපගැනීමේ දීමය. නමුත් එය ලානා පෙන්වීමට උත්සාහ නොකරයි. නමුත් චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් බ‍්‍රැන්ඩන්ව සිරගත කිරීමේ දී කාන්තා සිරමැඳිරියක දැම්ම තුළ ලානා තම මතය තහවුරු කර ගත් විට තමා ලිංගික විපර්යාසයකට පත් වන බවත් ශල්‍යකර්මයකින් තමා ඉක්මනින් එම තත්වයට පත්වන බවත් බ‍්‍රැන්ඩන් ලානාට පැවසීමෙන් තවදුරටත් සම්බන්ධතාව ඉදිරියට ඇඳේ. බ‍්‍රැන්ඩන් ලානා හට මුදුවක් මිලට ගෙන ආදරයෙන් ඇයගේ කාමරයේ තැබීම තනි තටුවෙන් නිර්මාණය තුළ වෛද්‍යවරයා ලබා දෙන මාලයට වඩා වෙනස් අරුතක් ජනනය කරයි. කෙසේ හෝ ලොටර් හා නිසන් දෙදෙනා බ‍්‍රැන්ඩන් කාන්තාවක් බව ඔප්පු කිරීමට සමත් වෙයි. එහිදී නාන කාමරය තුළ ඇය බලහත්කාරයෙන් නිරුවත් කිරීමේ සිදුවීමෙන් පැහැදිලි වේ. 

පසු දිනෙක පාලූ ස්ථානයක් වෙත ඇයව බලහත්කාරයෙන් ලොටර් හා නිසන් දෙදෙනා ඇයව රැුගෙන ගොස් අමානුෂීය ලෙස ¥ෂණයට ලක් කිරීම තුළ පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ ස්ත‍්‍රීත්වය පුරුෂයාගේ ලිංගික ගොඳුරක් වන බවයි. මෙහිදී මිතුරන් දෙදෙනා වරින් වර ඇයව ¥ෂණයට ලක් කරන්නේ බ‍්‍රැන්ඩන් වේදනාත්මකව කරනු ලබන ආයාචනය කිසිඳු තැකීමකට ලක් නොකරමිනි. මේ සිදුවීම ගත් කල කාන්තාව පුරුෂ ග‍්‍රහණයට යටත් වීමක් විනා ඉන් බේරීමක් නිරූපණය වන්නේ නැත. ඉන් පේ‍්‍රක්ෂක මනෝභාවය තුළ වුවද කාන්තාව නොව පුරුෂයාට දිනුම හිමි වීම මගින් කාන්තාව සදාකාලිකව එසේ විය යුතු යැයි හැගීමක් ජනිත වීමට පුලූවන. පසුව ඇය පොලිසිය ඉදිරියේ කරන පාපොච්චාරණයේ දී ද පොලිස් නිලධාරීන් කටයුතු කරන්නේ තවදුරටත් ඇයව අපහසුතාවට පත්වන ලෙසයි. මෙහිදී අවසානයේ දී ඇය ඔවුන් දෙදෙනාගේ විවිධ තර්ජනයන්ට ද ලක්වේ. කෙසේ හෝ අවසානයේ දී කෲර අන්දමින් මරණයට බ‍්‍රැන්ඩන් පත් වීමෙන් පුරුෂයාට සදාකාලික ජය නියත බව මනාව පැහැදිලි වේ. 

තනි තටුවෙන් තුළ කතාව ගොඩනැගෙන්නේ ඊට වෙනස් සන්දර්භයකිනි. එතුළ ඇය ගරාජයේ තම මිතුරාගේ ආදරයට ලක් වනුයේ සමලිංගිකත්වය පිළිබඳ යම් ඉගියක් ලබා දෙමිනි. වෛද්‍යවරයා තමාගේ ඉලක්කය වෙනුවෙන් ඇයට මාලයක් ගෙල පැළඳවීමේ දී ඇය එයට අවනත වීම තුළ ගැහැණිය නම් ලාභ ප‍්‍රයෝජන අපේක්ෂාවෙන් නතු වන බවක් දැක්වීමට එවන් අවස්ථාවක් නිර්මාණය සඳහා යොදා ගත්තා විය හැකියි. 




වෛද්‍යවරයා ඉන් නොනැවතී ගරාජයේ අයිතිකාරයා වෙත ඇයගේ සත්‍ය හෙළි කිරීමෙන් අනතුරුව සියල්ලන් එක් වී ඇය නිරුවත් කිරීම කාන්තාවට සැමදා සිදුවන දෙයක්බව ප‍්‍රකාශ කොට සක්වනකි. ඇයට යටත් වීම හැර වෙනත් විකල්පයක් නැත. තම පුරුෂ ප‍්‍රතිරූපය තවදුරටත් ගෙනයාමට බාධා කිරීමෙනි. කාන්තාව සෑම විවට පුරුෂාධිපත්‍යයට නතු වුව ද මේ චරිතය ඔස්සේ අනෝමා ජීනාදරී සමස්ත පුරුෂත්වයට අභියෝගයක් එල්ල කරයි. බ‍්‍රැන්ඩන් පුරුෂයාට ජයග‍්‍රහණය ලබා දී මරණයට පත් වෙද්දී තනි තටුවෙන් තුළ ඇය පුරුෂත්වයට යටත් නොවී එම කරදරය කෙළවර කර දැමුවත් අවසානයේ දී ජයග‍්‍රහණය පුරුෂ සමාජයට ලබා දෙමින් ඇයව වරදකාරිය කිරීම සිනමා කෘතියේ අවසානයේ දී පේ‍්‍රක්ෂකයා හමුවේ තබයි. සියල්ලන් ඉදිරියේ නිරුවත් වන ඇයව පාපකාරී තැනැත්තියක් ලෙස සමාජය හංවඩු ගසමින් නොයෙක් අපවාද වලට ලක් කරයි. තමාට සිදුවුන අසාධාරණයන්ට ඉදිරි පිම්මක් තැබීමක් විනා එහිදී ඇය එය ඉවසා වෛද්‍යවරයගේ ලිංගික ගොදුරට පත් වූවානම් එලෙස සමාජයේ ගැරහුමට ලක් නොවේ. පුරුෂ මූලික සමාජයක් තුළ කාන්තාව හා පුරුෂයා යැයි විවිධ තත්වයන් යටතේ වර්ගීකරණයන්ට ලක් වීම මීට හේතුව වේ.

බ‍්‍රැන්ඩන් ටීනා හා තනි තටුවෙන් පියාඹන්න චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය යන මේ දෙදෙනාම සිනමා කෘති අවසානයේ දී පරාජිත්වයට පත් කර තිබේ. පුරුෂයාට ජය ලබා දී බ‍්‍රැන්ඩන් ඝාතනය වෙද්දී තනි තටුවෙන් තුළ ඇය පුරුෂත්වයට යම් අභියෝගයක් ලබා දෙමින් වරදකාරිය බවට පත් වේ. සමස්ත සිනමා කෘති දෙක තුළම සමාජය තුළ සංස්කෘතික හා සමාජීය වශයෙන් හිමි වී ඇති ස්ත‍්‍රී ලක්ෂණ හා පුරුෂ ලක්ෂණ මනාව ස්පුඨ කර දැක්වීමෙන් පේ‍්‍රක්ෂක මනස තුළ සදාකාලිකව අධිපති පුරුෂත්වය තහවුරු කර ඇති බවක් පෙනේ. 

සටහන- බුද්ධි

1 comment: