Wednesday, January 13, 2016

ගුත්තිලය පිළිබඳ මානවවාදී ඇසකින්

කෝට්ටේ යුගයට අයත් යැයි සැලකෙන ගුත්තිල කාව්‍යය වෑත්තෑවේ හිමියන් විසින් රචිත ය. තම ගුරු හිමියන් වූ තොටගමුවේ ශී‍්‍ර රාහුල හිමියන් හා සමඟ ඇති වූ අමනාපයක් පදනම් කරගෙන තමා ගුරු ද්‍රෝහියකු නොවන බව හැඟවීම සඳහා ගුත්තිල කාව්‍යය රචනා කර ඇති බව ජනප‍්‍රවාදයේ සඳහන් වේ. ඛණ්ඩ කාව්‍යය ගණයට අයත් නිර්මාණයක් වන ගුත්තිල කාව්‍යයේ ප‍්‍රධාන චරිත වන්නේ ගුත්තිල නැමති වීණා වාදනයෙහි ප‍්‍රවීණ ගුරුවරයා සහ ඔහුගේ ගෝලයා වූ මූසිල නැමති ශිෂ්‍යයා ය. ගුරු ගෝල ගැටුම හා සම්බන්ධ සිදුවීමක් ප‍්‍රස්තුතය වී තිබේ. මේ සඳහා ගුත්තිල ජාතකය ඇසුරු කර ගත්තත් ගුත්තිල කාව්‍යය පැහැදිලිවම ජාතක කතාවෙන් වෙනස් වේ. සිංහල පද්‍ය සාහිත්‍යයෙහි ඉතා විශිෂ්ට කෘතියක් සේ සලකන ගුත්තිලය එදා මෙදා තුර සිංහල පද්‍ය සාහිත්‍යයේ බිහි වූ මානව සංහතියේ කැඩපතක් ලෙස සැලකිය හැකි ය. සෑම හදවතකට ම ඉතා ශාන්ත ස්වරයෙන් ආමන්ත‍්‍රණය කරන සියලූ ජනයාගේ හදවත් ඉතා රුචිකත්වයෙන් සමීප කරගත් කෘතිය වන්නේ ද ගුත්තිල කාව්‍යය යි. කොත්මලේ අමරවංශ විසින් සිංහල සාහිත්‍ය ලතා කෘතියෙහි මෙසේ දක්වා ඇත.
”තමා සකස් කොට ගත් සායමක් තෙලිතුඩින් ගෙන මනහර සිතුවමක් අඳින දක්ෂ චිත‍්‍ර ශිල්පියෙකු මෙන් වෑත්තෑවේ හිමියෝ කටවහර, ගත්වහර හා පමණට මුසුකොට ගැනීමෙන් සකස් කොටගත් එහෙයින් ම ප‍්‍රසාද ගුණයෙන් මෙන් ම ජීවමාන ලක්ෂණයන්ගෙන් ද නොඅඩු ආරෙකින් ගුත්තිල ජාතකය කවියට නංවාලීය”
යනුවෙනි. සිංහල සාහිත්‍යයෙහි ජනප‍්‍රිය කාව්‍ය වීමෙහිලා අවැසි සියලූ සාධක ගුත්තිල කාව්‍යය වෙත ප‍්‍රදානය කිරීමෙන් වෑත්තෑවේ හිමියන්ගේ ප‍්‍රතිභාපූර්ණ කවීත්වය මැනවින් ස්ඵුට වේ. උන්වහන්සේ තෝරා ගත් ජාතක කතාව, අනුභූතිය, කාව්‍ය සම්ප‍්‍රදාය, කෙටි විරිත හා සමාජ දර්ශනය කෘතිය සම්භාවනාවට පාත‍්‍ර වීමෙහිලා බලපා ඇත. පඩිවරුන් විසින් සපයා ඇති ගුත්තිල කාව්‍යය යන්න පිළිබඳව පොදු විවරණයක් ඇත. එනම්,


”ගුත්තිල කාව්‍යය වනාහී ග‍්‍රන්ථයක් වශයෙන් අනර්ඝ වෙයි. ප‍්‍රබන්ධයක් වශයෙන් රම්‍ය වෙයි. රචනාවක් වශයෙන් දීප්තිමත් වෙයි. මෙහි භාෂාව හා සන්දර්භය ද අති පාරිශුද්ධය. පද්‍යයෙන් පද්‍ය ප‍්‍රින්‍යවහනයම කෙරේ. ශබ්ද ශාස්ත‍්‍රය, කාව්‍ය ශාස්ත‍්‍රය, අලංකාර ශාස්ත‍්‍රය යනාදි ශාස්ත‍්‍රයන්ගෙන් මොනවට පෝෂ්‍යය වී අනුල්ලංඝ්‍ය ප‍්‍රතාපයෙන් විරාජමාන වේ.”
 
ආදී වශයෙන් ගුත්තිල කාව්‍යය විවරණය කර ඇත. අනවශ්‍ය වර්ණනාවන්ගෙන් තොරව සරළ බස් වහරින් කර ඇති නිර්මාණයක් බැවින් විදග්ධ ජනයාට මෙන් ම සාමාන්‍ය ජනතාවට ද එකසේ රස විඳිය හැකි කෘතියකි. ගුරු ගෝල අර්බුදය පිළිබඳව විචක්ෂණශීලීව සිතීමට මෙමගින් පාඨකයාට අවස්ථාවක් සලසා දී තිබේ.
පද්‍යයෙන් දහම් පුවතක් පළ කිරීමක් ලෙස බැලූ බැල්මට පෙනුනද මේ තුළින් තමා පිළිබඳව මෙන් ම සමාජය පිළිබඳව ආවර්ජනය කරමින් ස්වයං අධ්‍යයනයක් සිදු කර ගැනීමට පෙළඹවීමක් ඇති කෙරේ. ගුත්තිල සහ මූසිල චරිත ගොඩනැගීමේ දී මානව ස්වභාවයේ ලක්ෂණ සැබෑ අයුරින් ම නිර්මාණය කර ඇති බවක් දැකගත හැකි ය. එයින් දක්ෂතාව පමණක් නොව ආධ්‍යාත්මික වශයෙන් ගුණාංග ද මනුෂ්‍යය ජිවීතයට අවැසි බව සියුම්ව සමස්ත නිර්මාණය හරහා පාඨකයාට ඒතතු ගන්වයි. උන්වහන්සේ ඉතාමත් අලංකාර සහ සරල ලෙස අවස්ථා පෙළ ගස්වා ඇති අතර යොදා ගත් භාෂාවේ සුමට බව ද මෙය ජනතාව ආදරයෙන් වැළඳ ගැනීමට හේතු වී තිබේ.
ඒ අනුව මෙහිදී ගුත්තිල කාව්‍ය තුළින් නිරූපිත මානව කේන්ද්‍රීය ලක්ෂණයන් විමසා බැලීම වැදගත් වේ. මිනිසුන්ගේ ගති පැවතුම්, සිතුම්-පැතුම් ඇතුළු සකලවිධ මානව ක‍්‍රියාකාරකම් මානවවාදී ලක්ෂණයන් නමින් හැඳින්වේ. සාහිත්‍ය වූ කලී  ඕනෑම ජන සමාජයක ආධ්‍යාත්මික ගුණ වගාව සඳහා අත්‍යවශ්‍ය වූ අංගයකි. සාහිත්‍ය මගින් සිදු කෙරෙනුයේ මිනිසා යහමගට යොමු කිරීමකි. ”සහිතස්‍ය භාවඃ සාහිත්‍යයම්” යන්නෙන් කියැවෙන්නේ ද සහිත බව එසේත් නැතිනම් මිනිස් සමාජයට හිත සහිත බව වැඩදායක බව යන්න සාහිත්‍ය යන්නෙහි අරුත වන බවයි. පද්‍ය සාහිත්‍යයට අයත් ගුත්තිලය මගින් එම සහිතවත් බව ඉදිරිපත් කර ඇත්තේ ජනයාට සමීප අයුරිනි. ගුත්තිල කාව්‍යය ප‍්‍රබල සමාජ දර්ශනයක් ගෙන දේ. විශේෂයෙන් ම,
    වැරදි කරුවා සදාකාලිකව වරදකරුවෙක් නොකළ යුතු බව
    ගුරු සිසු සබඳතාවේ ස්වභාවය
    සත්‍ය, බලය හමුවේ යටපත් වන ආකාරය
    දක්ෂතාවයට නිසි තැන නොලැබීම
    ඊර්ෂ්‍යාව, තණ්හාව වැනි ලක්ෂණ මානවයා සතු ලක්ෂණ බව
    තම අනුභුතිය සමාජ අනුභූතියක් බවට පත් කිරීම

සානුකම්පිත බව සෑම මිනිසෙකු තුළ ම ඇති කරගත යුතු ගුණාංගයකි. සද්ගුණවත් සමාජයක වැරදි කරුවා සදාකාලික වරදකරුවෙකු නොකර වැරදිකරුවා ද මනුෂ්‍යයෙකු යන වග නැවත අපට සිහිපත් කරනුයේ දෙව්දත් තෙරුන්ගේ සිදුවීම් අළලා ය. උන්වහන්සේ ඉතාමත් සංයමයකින් යුතුව සානුකම්පිත ලෙස දෙව්දත් තෙරුන් කෙරෙහි දක්වන ආකල්පය ඒ සඳහා කදිම උපහැරණයකි.
”ඉඳ ඉඳ එක වෙහෙ                       ර
 විඳ විඳ දහම් මනහ                        ර
 සිඳ බිඳ දුක් සස                             ර
 අනේ දෙව්දත් නොදුටි මොක් පු     ර”
එකම විහාරයේ විසිමින් මිහිරි වූ දහම් රසය වින්දා වූ ද මේ දෙව්දත් තෙරුන් සංසාර දුක කෙළවර කර නිවන් දැකීමට අවස්ථාව නොලද් අයුරක් නම් යැයි දක්වයි. ”අනේ” යන වචනය ශෝකජනක, සංවේගජනක අවස්ථාවන් නිරූපණය සඳහා යොදා ගනු ලබයි. කවියේ සස්ත අර්ථය දෙව්දත් තෙරුන් කෙරෙහි සනුකම්පිත දෘෂ්ටියකට ගෙන එයි.
එමෙන් ම වෑත්තෑවේ හිමි මූසිල කෙරෙහි දක්වන්නේද ජාතක කතාකරුවා මෙන් අපහාස කිරීමක් නොවේ. ශාස්ත‍්‍ර ලෝභී, අවංක, නිරහංකාර චරිතයක් ලෙස දක්වා ඇත.
”අඳ මව් පියන්                       හට
 නිතර අත්පා මෙහෙ          කොට
 උන්ගෙන්                බෝසතුනට
 කියැවී වෙණසිප්       ඉගැන්වීමට

ගුත්තිල ඇඳුරුතුමා ශාස්ත‍්‍රය ඉගැන්වීමට අකමැත්ත ප‍්‍රකාශ කළ පසු ශාස්ත‍්‍රයට ඇති කැමැත්ත නිසා ම මූසිල ගුත්තිල ආචාර්යවරයාගේ අන්ධ දෙමව්පියන් හට නිරතුරුවම අත් පා මෙහෙවර කර තමා හට වීණා ශිල්පය උගන්වන ලෙස මව්පියන් දෙදෙනා ලවා ඇඳුරුතුමාට කියැවූ ආකාරය එම කවියෙන් කියැවේ. තම ශාස්ත‍්‍රය වෙනුවෙන් නිරහංකාරව මව්පියන්ට සැලකීම ආදිය තුළින් මුලදීම මූසිල පිළිබඳ පාඨක සිතෙහි සානුකම්පිත බවක් ඇති කරයි. ගුත්තිල කාව්‍ය පුරාවටම චරිත දෙස මධ්‍යස්ථව හෙළිම සහ මිනිසුන් යහමගට ගැනීම පිළිබඳව වන සමාජ දර්ශනය ඉදිරිපත් කෙරේ.
      සරා සලෙළු දන         සතොසේ
      සුරා පාන කරන             ලෙසේ
      පුරා අවුළු නොයෙක         රසේ
      සරා අවන්හල්               සහසේ

      රැුගත් සුරා පිරූ                      විතින්
      සුරත් තඹුරු පෙති          සෙනෙතින්
      පුවත් නොදැන බමන             ගතින්
      නටත් අයෙක් සුරා                 මතින්

උදේනි නුවර ජනයා විවිධ රස කැවිලි කමින් සිටින අයුරුත් දහස් ගණනක් සුරු සැල් වල මත් පැන් බොමින් සිටින ආකාරය වෑත්තෑෙවි හිමියෝ දක්වා ඇත. මත්පැන් බඳුන් ගෙන නටන නාටිකාවන්ගෙන් ද නගරය අඩුවක් නැත. මෙය සෑම සමාජයකම දැකිය හැකි ලක්ෂණයකි. මත්පැන් පානය කරමින් කා බී නටන මිනිසුන් සහිත උත්සවයක චිත්ත රූප මේ කවි පෙළ කියවන සහෘද සිතෙහි ඇදෙනුයේ නිරායාසයෙනි. වෑත්තෑවේ හිමියන් ඉන්දියානු සමාජයක පවතින උත්සවයක ස්වරූපය දක්වන්නේ තම ඇසූ දුටු දේ අනුව ය. ඉන් සමාජය පිළිබඳ රූපණයක් දැකිය හැකි වේ.
එදා සමාජයේ දෙමාපියන්ට සැලකීම ඉතා උතුම් කොට සැලකීය. ගුත්තිලයන් ද තමන්ගේ අන්ධ මව්පියන් රක්ෂා කරමින් රාජ්‍ය සේවයෙහි නියැලූණු කෙනෙක් බව දක්වන්නේ මෙසේ ය.
       දඹදිව් තල              නොයෙක
       දුරුකර පිළිඇදුරු            සැක
       සිප් සයුර තෙර                දැක
       වසන සඳ අඳ දෙමව්පි ය  රැුක

වීණා ශිල්ප ශාස්ත‍්‍රයේ එතෙරටම පැමිණ අන්ධ දෙමාපියන් රැුක ගනිමින් ජීවත් වන විට යනුවෙන් දක්වා තිබේ. මව්පිය උපස්ථානය යන්න මානව කේන්ද්‍රීය ගුණයකි. වෑත්තෑවේ හිමියන් එම ගුණය ඉස්මතු කරමින් ගුත්තිල ඇඳුරුතුමා පිළිබඳ යම් දැක්මක් ඉදිරිපත් කරයි. එමෙන් ම මූසිල පිළිබඳ මුලදීම ඔහුගේ ලක්ෂණ දක්වමින් නුගුණයෙක් යැයි ගුත්තිල දක්වන්නේ මෙසේ ය.
            බලමින් ලකුණු                                ගත
            දුදන ගුණ දැන ඔහු                           සිත
            නො වසව තෙපි ම                         වෙත
            ශිල්ප නොදෙමැයි කීවෙන්          මහසත

මේ ලක්ෂණ පසුව උපහැරණයකින් දක්වන්නේ මෙලෙස යි.
               දියෙහි යන                         දණ්ඩට
               පිහිටක් වෙතත් පෙර                සිට
               දුදනන් හට                            පිහිට
               නොවවු යන බස සැබෑ කළෙ   මට

දියේ ගසා ගෙන යන දණ්ඩට පිහිට වූවත් දුර්ජනයින් හට පිහිට නොවන ලෙස අතීතයේ සිට පැවත එන කියමන අවසානයේ මොහු මට සැබෑ කළේ ය යි ගුත්තිල ඇඳුරු පවසයි.
   
       කොපමණ ගුණ              කළත්
       දුදනෝ නොවෙති          යහපත්
       කිරි දියෙනි                  දෙවියත්
       අඟුරු සුදු වන කලෙක් නම් නැත්

කොතරම් උදව් කළත් දුර්ජනයින් යහපත් නොවේ. එය අඟුරු කිරි වලින්  සෝදා දැමුවත් සුදු පැහැ නොවන්නා මෙනි. වැනි උපමා දක්වමින් දුදනන් පිළිබඳ දක්වා ඇත. වෑත්තෑවේ හිමියන් මින් අපේක්ෂා කර ඇත්තේ මූසිල දුර්ජනයකු වශයෙන් හංවඩු ගැසීමට නොවේ. සෑම මනුෂ්‍ය තුළ ම සුදන හා දුදන ගති ලක්ෂණ පවතින්නේ ය. ඒ සඳහා බලපානු ලබන්නේ ඒ ඒ පුද්ගලයා සමාජ හා ආර්ථික තත්වයන් ය. මූසිල මෙන් ම ගුත්තිල තුළ ද දුදන සහ සුදන ගති අඩුවැඩි වශයෙන් පවතී. ඔිනෑම මානව සමාජයක දුදනන් හා සුදනන් දැකිය හැකිය යන්න ඉන් වෑත්තෑවේ හිමියෝ පහදා දෙයි.
   
ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර පැවතිය යුතු මානව සම්බන්ධතාව ගුත්තිල සහ මූසිලගේ සිදුවීම් ආශ‍්‍රයෙන් වෑත්තෑවේ හිමියෝ ඉදිරිපත් කරයි. ගුරුවරයා යනු තම ශිෂ්‍යයින්ගේ සාර්ථකත්වය හා දක්ෂතා දැක සතුටු වන්නෙක් මිස ශිෂ්‍යයාට අකුල් හෙලිය යුත්තෙක් නොවිය යුතු ය.
”ගින්නෙන් නැගුණු                  දුම්
 දවත හොත් වැද                 මහදුම්
 එම ගිනි කඳ                          එදුම්
 කිමැයි නො දවා ද කර         විහිදුම්”

ගින්නෙන් නැගෙන දුමෙන් මහා ගස් දවා විනාශ කරන්නේ නම් ඒ දුමට මුල් වූ ගින්නට ඒ දුම පලවා හැරිය හැකි වුවත් තමා එසේ කරන්නනේ ඇයිදැයි පවසන ගුත්තිල ඇඳුරුතුමා තම ශිෂ්‍යයාට පරිභව නොකර ඔහුගේ දස්කම් හමුවේ තමා සතුටට පත්වන බව ඒත්තු ගන්වයි.
මූසිල සිය ගුරුවරයා වූ ගුත්තිල සමඟ වාදයට පැමිණිම හා සමාන සිදුවිමක් ම කාව්‍යශේඛරයෙහි ද සඳහන් වේ. එහි දී සේනක කුමරු ගුරු ගෙදර නතර වී බැතිබරව සිප් සතර ඉගෙන අවසානයේ දී ගුරුවරයාට ද වඉා හසළ දැනුමක් ලත්තෙක් විය. දිසාපාමොක් ඇඳුරුතුමා ගිණි පෙණෙල්ලක් නම් සේනක කුමරු ඉන් දැල්වූ පහනක් බැවින් ගුරුවරයාට ද වඩා බබළන්නට වූ බව එහි සඳහන් වේ.
       ”පෙණහෙල්ලෙන්         ඇවුළු
          පහනෙව් වතුන් අලූ       කළු
        ගුරුනුදු නො ම              හසළු
      කුමරු සත දැන යසින්    සුලකුළු”

එසේ ශාස්ත‍්‍රයෙන් පාරපාප්ත වූ ගෝලයා පවා ගුරුවරයාට අවසානයේ දී අප‍්‍රමාණ භක්ති ගෞරව දැක්වූ බව කාව්‍යශේඛරයේ සඳහන් වේ. තමාට ශිල්ප ශාස්ත‍්‍රය ලබාදෙන ගුරුවරයා හට ගෞරව කිරීම සදාචාර සම්පන්න වූවකි. මෙහිදී මූසිල යනු ගුරු භක්තිය නැත්තෙකු යැයි දෝෂාරෝපණය කළ නොහැකි ය.
”අඳ මවුපිය දෙදෙ              න
ඔහු වයන බව නොම දැ     න
කතී වෙන මීය                   න
සූසූ ය යි අත ගැසූ සැකයෙ න”
 

”එ අසා වෙණ ත                බා
 සිතෙහි ගරු මන් නොත     බා
 උන් පද හිස ත                   බා
 නැමද මෙලෙසින් කියයි ගදඹා”

අන්ධ මව් පියන් දෙදෙනා වීණාව මීයන් කති යැයි සැක සිතී සූසූ ගාමින් අතට ගැසූ නිසා මූසිල ඒත් සමග තමාගේ මානය නැති කරගෙන ගුත්තිලගේ දෙපා ළග වැටී තමාට ශිල්ප උගන්වන ලෙසට අයදියි. මේ නිදසුනින් මූසිල යනු නිහතමානී ගුරු භක්තිය සහිත වූවෙක් බව වෑත්තෑවේ හිමි ඒත්තු ගන්වා ඇත.
”හිමි තම නැණ නැ                  වින්
 සැදි ගී තරඟ බෙහෙවි                න්
 වෙණ සිප් මහණ                    වින්
 කෙළේ ඔහු පරතෙරට මැන     වින්”

එමෙන්ම ගුරුවරයා තරමටම ඔහු වීණා ශිල්පය ප‍්‍රගුණ කළේ සුවච කීකරුව උගත් බැවිණි.
එසේ වුවහොත්                  හිමි
ඔහුට මම අතවැසි            වෙමි
මෙ මිල ආපසු                  දෙමි
මමත් ඔබ යන කල සමඟ යෙමි

තමා බරණැස් නුවරට රැුගෙන යන ලෙස ඔහු කරන ඉල්ලීම ඉතා නිහතමානීය. මූසිල නිරහංකාර නිහතමානී ගුණ ඇත්තෙකු ලෙස ජාතක කතා කරු කිසිඳු විටෙක දක්වා නැත.
නිදසුනක් ලෙස,
”එබස් ඇසූ මූසිල ගාන්ධර්ව කියන්නේ එසේ වී නම් තොප හැම බරණැස් නුවරට යන කල මයිද් කැන්දාගෙන යවයි කීය”
                                  දැක්විය හැකි ය.
තණ්හාව නැමති ගුණය ද මානව කේන්ද්‍රීය ගුණයකි. එය සෑම මිනිසෙකු තුළම අඩුවැඩි වශයෙන් පවතී. මූසිල සහ ගුත්තිල චරිත දෙකෙන්ම එම ගුණය ඉස්මතු වන අවස්ථා හඳුනාගත හැකි ය. ගුත්තිල විසින් ශක‍්‍ර දෙවියන්ගේ බසට අවනතව වීණාවෙහි තතක් සිඳීමෙන් පසු තමාද ඒ හා සම වීමට වීණාවේ තත සිඳීමේ අවස්ථාව දැක්විය හැකි ය.
”කෙළෙහි ගුණ         සින්දේ
 මූසිල            අන්දමන්දේ
 ජයෙහි ලොබ         බැන්දේ
 තමා වීණා තත ද          සින්දේ”

”අනුවණකම්             කෙළේ
ගුරුන් ගුණ සිහි        නොකෙළේ
නද ඉන් නො              පතළේ
අයස ම ය මුළු දියත      පතළේ”

තම ගුරුවරයාගේ ගුණ සිහි නොකළ මූසිලයන් මෝඩ විය. එයින් අවසානයේ ඔහුට ඉතිරි වූයේ අපකීර්තිය පමණි. මින් සෑම මානවයාට උපදේශයක් ලබා දෙයි. තමාගේ පමණ දැන කටයුතු කිරීම සහ අධික තණ්හාව තමාට විනාශය කැඳවන බවයි.
මෙහිදී ඊර්ෂ්‍යාව පිළිබඳ ගුත්තිල ඇඳුරුතුමාගේ චරිතය ඇසුරින් යම් අවස්ථාවන් හඳුනා ගත හැකි ය. තමා තරමටම මූසිල දක්ෂයෙකු වුවත් තමා මහලූ වයසේ පසුවුවත් ඔහු තම ගෝලයට අවස්ථාව නොදී රාජ්‍ය සේවයෙහි රැුදීමට කැමැත්තක් දක්වයි. තම තනතුර ශිෂ්‍යයාට පැවරීම යුතුකම වුවත් ධනය, බලය ලෝභයෙන් තමා වෙතම තනතුර රඳවා ගැනීමේ ආශාවෙන් ආඪ්‍යය වේ. මුසිලගේ ඉල්ලීම පරිදි රැුකියාවක් ලබා දීමට ගුරුතුමා එකග වෙයි.
”එබසට  එ           නරසී
 පින්වත ඔබ            අතවැසි
 තොප වැටුපෙන්        නිසි
 අඩක් වැටුපට යෙදෙයි  පැවසී”

තමා හා සමාන දක්ෂතාවක් ඇති ශිෂ්‍යයාට රජතුමාගෙන් අඩක් වැටුප් දීමේ අසාධාරණ යෝජනාවට එදිරිව ගුරුවරයා නැගී සිටින්නේ නැත. තමා විශ‍්‍රාම ගොස් ශිෂ්‍යයාට තනතුර පරිත්‍යාග කළ යුතු මොහොතක් මින් නිරූපිත ය. වෑත්තෑවේ හිමියන් සෑබෑ ගුරුවරයාගේ යථාර්ථය නිර්මාණාත්මකව ප‍්‍රශ්න කරනු ලබයි. තම ශිෂ්‍යයා හා සමග වාදයට කැමති වීම තුළින් එය තවදුරටත් තහවුරු කරයි.

    ”අතවැසි ව ද              නොදැමි
      මොහු හා වාද         නොකරමි
       එතකුදු වුවත්                  හිමි
සිල්ප සත් වෙනි දවස        දක්වමි”

එයින් ද නොනැවතී සියලූ දෙනා ඉදිරියේ තම ශිෂ්‍යයාගේ වැරදි පවසයි.
”නිසි සිප්                     නොදත්තෙහු
දුරු රට සිට                      පැමිණියහු
ලෙස සිය පිය                          සුතහු
හොඳයි ඇති කළ නියා අප        මොහු”

වීණා වාදනය සම්බන්ධ නිසියාකාර ශිල්ප නොදත් ඈත සිට පැමිණි මොහුට පුතු සේ සලකා ශිල්ප ලබාදුන් ඇති කළ මට කළ දෙය යනුවෙන් ගුරුවරයා මූසිල පිළිබඳ පශ්චත්තාපයට පත් වේ.
”බලව දැන් වූ         දේ
 ඉගෙන අප දැන්වූ         දේ
 කෙරෙමි යෙයි          වාදේ
 මෙසෙවූ අයටත් සිල්ප  සෑදේ”

මෙලෙස පසුතැවිලි වී සිටින විට ශක‍්‍රයා පැමිණ ගුත්තිල ඇඳුරු තුමාට උදව් කිරීම තුළ ගුරුවරයාට තවදුරටත් ශිෂ්‍යයා පැරද්දීමේ ආශාව මනාව පිළිඹ්බු වේ.
බලය හමුවේ සත්‍යය යටපත් වන ආකාරය සමාජයේ ලක්ෂණයකි. බලය මානවයා තුළ ඇති ලක්ෂණයකි. සෑම රදළ සමාජයකම ගුරුවරු වනාහී පාලක පංතියේ ආශාවන් නියෝජනය කරන්නෝ ය. ශක‍්‍රයා ගුත්තිල ඇඳුරු තුමාට අයථා ලෙස උදව් ලබා දී මූසිල රැුවටීමට ලක් කරයි. මෙය සමාජයේ සුලබව දැකිය හැකි ලක්ෂණයකි. ධනය සහ බලයෙන් වැඩි තැනැත්තා අනෙකාව පහතට ඇඳ දැමීම මානව ගුණයකි.

”අප බෝසතුන්         මිස
 අනෙකකු නොම අසන  ලෙස
 සුර රජ සිට            අහස
 තතක් සිඳුවයි කීය එ    විගස”

”ගුත්තිල මහ             සිපී
 සක් දෙව් බසින්         සැතපී
 මින් දිනැමයි             දැපී
 බමර තත පළමුයෙන්    සිඳපී”

ශක‍්‍ර දෙවියන් දෙදෙනා සමව වීණා වාදනය කරමින් සිටිද්දී අන් කෙනෙකුට නොඇසෙන ලෙස ගුත්තිලට රහසින් එක් තතක් සිඳින ලෙසට පැවසීය. ශක‍්‍රයාගේ වචනෙන් ඉතා සතුටට පැමිණ මෙයින් ආඩම්බර වී තමා දිනන බව දැනගෙන තත සිඳින ලදි. කුමන අයුරකින් හෝ ජයග‍්‍රහණය කිරීම මානවයාගේ ලක්ෂණයකි. සෑම විටම තවකෙකු පරයා යෑමට කටයුතු කිරීම යන්න මිනිස් ස්වභාවයයි.
බැඳී විළි තඹ                        යෙන්
තැති ගෙන ජය සකොබ        යෙන්
උන් මූසිල බ                        යෙන්
පිටත් කළෙ එරජ රජ සබ       යෙන්

ඉතාමත් අපහසුතාවයට පත්ව බියෙන් සිටි මූසිල සබාවෙන් ඉවත් කිරීමට රජතුමා කටයුතු කරන විට ඒ මොහොතේ පාඨක සිතෙහි සංවේගයක් ජනිත කරවයි. ඊට හේතුව වන්නේ මූසිල පරාජයට පත් වූයේ ශක‍්‍රයාගේ චංවාවක ප‍්‍රතිඵලයකින් බව පාඨකයින් දන්නා නිසා ය.
යන ඔහු අසර                        ණින්
දුටු දුටු දනෝ උර                   ණින්
තමන් බල පම                       ණින්
දෙමින් කැට බැට මුගුරු පහ    ණින්

මූසිල මෙපුර ත                       ට
නුවරෙක් නොවෙයි ඉඳින        ට
ඉන් තෝ මෙහි නොසි             ට
යව යි නෙරපූ ය යම පුරය        ට


සබාවෙන් පිටතට යන මූසිල දකින ජනයා ගල් මුල් වලින් ඔහුට දමාගසන විට පෙර පාඨක සිතෙහි  ඇති වූ සංවේගය තවත් තීව‍්‍ර වේ.
ගුත්තිලගේ විජයග‍්‍රහණයත් සමග මූසිලගේ අයුක්ති සහගත පරාජය සැසඳී වෙනස ඒ තුළ මනාව කැපී පෙනෙන අතර එය පාඨකයාට සමාජ යථාර්ථය පිළිබඳ නැවත ආවර්ජනය කිරීමට මඟපාදයි. ජාතක කතා කරු මේ අවස්ථාව තුළ මූසිල කෙරෙහි ඇති කරවන්නේ අනුකම්පාවක් නොවේ. නමුත් වෑත්තෑවේ හිමියන් මූසිලට මේ ඉරණම අත්වූයේ ගුත්තිල විසින් වංචාවෙන් ලද ජයග‍්‍රහණය නිසා බව පෙන්වයි. නමුත් ගල් මුල් ගසන ජනයා සත්‍ය නොදනී. මෙය එදා සමාජයේ පමණක් නොව වර්තමාන සමාජයේ ද දැකිය හැකි ලක්ෂණයකි. ධනය, බලය හමුවේ අසාධාරණත්වයට ජයග‍්‍රහණය හිමි වන ගුත්තිල ලා මෙන් ම එම බලය හමුවේ අසරණ වන මූසිලලා ද සිටින වග වෑත්තෑවේ හිමියෝ පසක් කර දේ. මෙය වාව කේන්ද්‍රිය ලක්ෂණයකි. තමාගේ ජයග‍්‍රහණය කුමන අසාධාරණ ලෙස හෝ හිමිකර ගැනීමට මිනිසුන් කැමති ය. ඒ මානවයා සතු බලය පිළිබඳව වන තණ්හාව සහ කෑදරකම නිසාවෙන් ය.
වෑත්තෑවේ හිමියන් ජාතක කතාව පාදක කොට ගත්ත ද කාව්‍යයකරණයෙහි යෙදී ඇත්තේ ඉතාමත් ස්වාධීන අන්දමිනි. තමාගේ අනුභූතිය සමාජ අනුභූතියක් බවට පත් කරමින් ගුත්තිල කාව්‍යය නිර්මාණය කර ඇති බැව් පෙනේ. ගුත්තිල සහ මූසිල චරිත ද්විත්වය ම නිර්මාණය කර ඇත්තේ මානව ගුණ කේන්ද්‍ර කර ගනිමින් ය. අතිශෝක්තියෙන් තොරව සැබෑ මිනිස් ගති එහිදී මනාව විවරණය කිරීමට උන්වහන්සේ සමත්ව ඇත. විශේෂයෙන් ම සාර්ථක පුද්ගලයකු වීම සඳහා ශිල්පීය දක්ෂතාවයෙහි උච්චභාවය පමණක් නොව ආධ්‍යාත්මික ගුණාංගයන්හි උසස්භාවයන් ද අත්‍යවශ්‍යය වන බව ගුත්තිල සහ මූසිල චරිත වල ගුණාංග තුළින් ඉදිරිපත් කර යි. දේශපාලනය සහ බලය තුළින් දක්ෂයාට පරාජය වීමට සිදුවන බව මූසිල අවසානයේ යමපුරයට පන්නා දැමීමෙන් කතුවරයා සහෘදයාට පසක් කරවයි. තවත් අතකින් සත්‍ය වෙනුවෙන් පෙනී සිටීම, තම අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටීම තුළ වන පංති අරගලයෙහි සැබෑ යථාර්තය ද වෑත්තෑවේ හිමියන් ව්‍යංගයෙන් සහෘදයාට විචක්ෂණශීලී වීමට අවස්ථාව සලසා දෙයි. ගුත්තිල කාව්‍ය එදා මෙදා තුර සමාජයේ රැුදුණු නිර්මාණයක් බවට පත්ව ඇත්තේ එකී සැබෑ මානව ගුණයන් සහ සමාජ යථාර්තය නිර්මාණය තුළින් සමලංකෘතව ඇති බැවිණි.
 
බුද්ධිකා බණ්ඩාර
ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය
මහාචාර්ය ගම්ලත්, සුචරිත, ගුත්තිල විනිස, 1977, විජිතසේන රත්නායක, ඉන්දික මුද්‍රණාලය, ඞීන්ස් පාර, කොළඹ 10.
සැබිහෙළ, ඉසි, අලවු, ගුත්තිල පහදනය, 1965, සීමාසහිත ඇම්. ඞී ගුණසේන සහ සමාගම, කොළඹ 11.
මල්ලවආරච්චි. එස්. ජේ(සංස්.*, ගුත්තිල කාව්‍ය, 2004, ශී‍්‍ර ජය මුද්‍රණ හා ප‍්‍රකාශන, ජයන්ති මාවත, හිඹුටාන.
හේවා මද්දුම, අමර, සම්භාව්‍ය සාහිත්‍යයට පිවිසුමක්, 1995, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
වික‍්‍රමසිංහ, මාර්ටින්, විචාර ලිපි, 1941, සීමාසහිත තිසර ප‍්‍රකාශකයෝ, 129, දුටුගැමුණු වීදිය, දෙහිවල.






4 comments:

  1. මගේ අදහසද ගුත්තිල යනු හොඳ ගුරුවරයකු නොවන බවයි. ඔහු මූසිලගේ මුහුණ බලා ශිල්ප දීම ප්‍රතික්ෂේප කරයි. අවසානයේ එකඟවන්නේ අද මව්පිය දෙදෙන ගේ ඇවටිල්ල නිසාය.

    සම සේවයට සම වැටුප් ඉල්ලීම වැරදි කාර්යයක් නොවේ. ගුත්තිල කළ යුතුව තිබුණේ විශ්‍රාම ගොස් රාජකාරිය තම දක්ෂ ගෝලයාට පැවරීමයි.

    අවසානයේ මහළුව පෙරසේ ශිල්ප දැක්වීමට නොහැකි වූ ගුත්තිල බේරුණේ හොරකමින් වංචාවෙන් සහ නටන ගැහැණුන්ගේ නිරුවත පෙන්වීමෙනි.

    ReplyDelete
  2. ගුත්තිල කාව්‍යයෙන් මින්සාහෙ සැබෑ ස්වරූපය ඉස්මතුකර පෙන්වයි.

    ReplyDelete
  3. gutthila pilibadawada ? musola pilibadawada? manawa wadi asa? mathukawath ekka yanne nathi gathiyak thiyenawa

    ReplyDelete